Tuesday 12 March 2013

අරාජිකවාදයේ රසායනය By Robert Barr (පළමු කොටස)





අරාජිකවාදයේ රසායනය

The Chemistry of Anarchy
By : Robert Barr

සෝහෝ හි, අරාජිකයන්ගේ සමිතිය විසුරුවා හරින ලද්දේ අරමුදල් නැතිකමින් යැයි ලන්ඩන් පුවත්පත් වල පළවූ නමුත් එය සත්‍යයෙන් ඉතා ඈතය. අරාජිකයන්ගේ සමිතියකට අරමුදල් වලින් පළක් නැත. බියර් මිලදී ගන්නට මුදල් ඇතිතාක් කල් සමිතිය පවතින බව සත්තය. සමිතිය ඉහිරී යන්නට සැබෑ හේතුව මට කිව්වේ එහි අන්තිම සභා වාරයේ මුලසුන දැරූ තරුණ පත්තර කාරයෙකි.

මේ තරුණයා අරාජිකවාදියෙකු නොවේ. නමුත් ඔහුට පත්තරේ බල කිරීම උඩ එසේ පෙනී සිටීමට සිදුවිය. සමිතිය ඉදිරියේ ඔහු පැවැත්වූ "ගින්දර වගේ" කතාවලට මහ හඬින් අත්පොලසන්ද ලැබිණි. අන්තිමේ අරාජිකවාදීන් ගැන ප්‍රවෘත්ති, පත්තර පුරා වැහි වහින්නට වූ විට, මාෂල් සිම්කින්ස් වැඩකළ පුවත්පතේ කතුවරයා, දැන් අරාජිකවාදීන් ගැන ලිවිල්ල නවතා පාර්ලිමේන්තු පුවත් වාර්තා කරන ලෙස ඔහුට දැන්වීය.



දැන් ඉතින් ඔහු ප්‍රිය නොකළ විෂයයක් වූ අරාජිකවාදීන්ගෙන් ගැලවීමට හැකි වීම ගැන සිම්කින්ස් සතුටවන්නට ඇතැයි යමෙකුට සිතෙන්නට පුලුවන. ගැලවී යන්නට සතුටු වුවත්, අස් වීමේ ලිපිය යැවීම, අමාරු කටයුත්තක් බව ඔහුට පෙනී ගියේය. ඉල්ලා අස් වීම ගැන කතා කළ වහාම සාමාජිකයෝ ඔහු ගැන සැක ඇති කර ගත්හ. ඔහු සමිතියේ අනෙක් අයට වඩා හොඳින් ඇඳීම පැලඳීම කළේය. ඊටත් වඩා, ඔහු බියර් පානය කළේ අන් අයට වඩා අඩුවෙනි.සමිතියේ කැපී පෙනෙන සාමාජිකයකු වීමට නම්, පිරිසිදු කම ගැන අඩුවෙන් හිතන, වරකට බියර් ගැලුමක් වත් වත්කර ගන්නා අයෙකු විය යුතුවිය. සිම්කින්ස් "කාලක්" ගැහුවෙත් අමාරුවෙනි. ඔහු පැවැත්වූ කතා වල "ගිණි සැර" නොවන්නට, ඉහත කරුණුත් ඔහුගේ අවාසියට හේතු වන්නට තිබුණි. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල පිළිබඳ  "ප්ලෑන" ක්‍රියාත්මක නොකරන ලෙස අරාජිකවාදීන් කීපවිටක්ම ඔහුට ඇවිටිලි කර තිබුණි.

ඔහුගේ "ප්ලෑන" හෙවත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අකාමකා දැමීමේ අදහස හොඳ එකක් වුවත්, එයට සුදුසු කාලය තවම එළැඹී නැතැයි යන්න සමිතියේ පැරණි සාමාජිකයනගේ අදහස විය. අරාජිකවාදීනට කරදරයක් නැතිව වැඩ කටයුතු කළ හැකි එකම තැන වන එංගලන්තය තිබෙන්නට හැර, වියානා, බර්ලින් හෝ පැරිස්, සිම්කින්ස් විසින් පුපුරවා දමනු ඇතැයි ඔවුහු උදක්ම බලාපොරොත්තු වූහ. මෙවිට, සාමාන්‍යයෙන් සිදුවන පරිදි, සිම්කින්ස් අමාරුවෙන් තැන්පත් වී, "බයගුල්ලො" යැයි සුස්මමින් කීප වාරයක් කියයි. අවසානයේ, "කමක් නෑ එහෙනම්, ඔබතුමන්ලා මට වඩා දැනුම් තේරුම් තියෙන අය නේ, - මම කවුද? මේ ඊයෙ පෙරේදා සමිතියට බැඳිච්චි කොලුවෙක් නේ..නමුත් මට අඩුගානෙ අවසර දෙන්න වෝටර්ලූ පාලම පුපුරවන්න, එහෙමත් නැත්නම් ෆ්ලීට් වීදියේ බෝම්බයක් අටවන්න.. නිකමට අපි ඉන්නව කියලවත් උන්ට පෙන්නන්න...

මෙයට අවසර නොලැබිණි.ඔහුට   ඕනෑම නම්, සේන් ගඟෙන් එපිට පාලම් පුපුරවා ගන්නැයි පවසන ලදී. එංගලන්තය ඔව්නට රැකවරණය දෙන තාක් කල්, ලන්ඩන් නගරයේ විනාශකාරී වැඩ නොකරන්නට ඔව්න් පොරොන්දු වී සිටියහ.

"නමුත් බලන්න!" සිම්කින්ස් කෝපයෙන් කෑගෑවේය. "අපිට ට්‍රැෆල්ගාර් චතුරස්‍රයේ සමිතිය තියන්න දෙන්නෙ නැත්තෙ මොකද?"

"කාටද  එතන සමිතිය තියන්න ඕන?" සභාපති ඇසුවේය."එතෙන්ට වඩා මේ කාමරේ කොච්චර පහසුද? අනික ට්‍රැෆල්ගාර් චතුරස්‍රයේ බියර් කෝ?” "ඇත්ත""ඇත්ත" කීප දෙනෙක් පැවසූහ. එවිටය සිම්කින්ස් සන්සුන් වූයේ. නැවතත් බියර් නිදහසේ ගලා යන්නට විය. ඒ අතර තම මව් රටින් එලවා දමන ලද අරාජිකවාදියෙක් කැඩුනු ඉන්ගිරිසියෙන් සබාව අමතමින්, ඩයිනමයිට් වලින් කල හැකි වැදගත් දේ ගැන පැහැදිලි කලේය.


නමුත් සිම්කින්ස් ඉල්ලා අස්වීම බාර දුන් වහාම ඔහු ගැන අරාජිකවාදීන්ගේ තිබූ හැඟීම වෙනස් විය. කවුරුත් ඔහු දිහා උනන්දුවෙන් බලන බව ඔහුට දැනී ගියේය. සභාපති ඔහුගේ කණට කොඳුරා, ඉල්ලා අස්වීම ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. සභාවේ තත්වය බරපතල වන බව දුටු සිම්කින්ස් නැගීසිට, "මට අස් වෙන්න උවමනාවක් නැහැ. නමුත් මේ සමිතියේ වැඩ කටින් විතරයි. මට අස් වෙලා, හැබෑවටම වැඩ කරන අරාජිකවාදී සමිතියකට බැඳෙන්න ඕනෑ" යැයි කීවේය.

ඔහු ඊලඟ රැස්වීමට නොගොසින් සිටියේ, ඒ ආකාරයෙන්වත් අරාජිකවාදීන් මඟහැරීමටය. නමුත් ඔහු සොයන්නට සමිති සාමාජිකයෝ නිවසටම පැමිණියහ. ඔවුනගේ දරුණු පෙනුම දුටු ගෙහිමි කත, සිම්කින්ස් නරක ඇසුරට වැටී ඇතැයි සිතුවාය.

සිම්කින්ස් පත් වූයේ මහ අවුලකටය. සිතූ තරම් පහසුවෙන් ඔව්න් මඟ හැරිය හැකි බවක් නොපෙනුණි. උපදෙසක් පතා පුවත්පතේ කතුවරයා මුන ගැසුනද, ඔහුටද ඉන් මිදෙන මඟක් කිව නොහැකි විය.

"ඕවට පැටලෙන්න කළිනුයි හිතන්න තිබුනේ" එය ඔහුට ලැබුණු පිළිතුර විය.

"එහෙම නැතුව මම කොහොමද පත්තරේට කරුණු ගේන්නෙ?" 

කතුවරයා කලේ උරහිස් ගැස්සීම පමණි. එය ඔහුගේ රාජකාරියක් නොවේ. අනෙක් අතට අරාජිකවාදීන් සිම්කින්ට "සැළකීමට" බලාපොරොත්තු වේ නම් ඔහුට කරන්නට දෙයක් නැත.

ලන්ඩනයේ රසායන විද්‍යාව ඉගෙනගන්නා සිම්කින්ගේ කාමර සගයා: සෙඩ්ලිට්ස්, සිම්කින් මූණ එල්ලා ගෙන සිටිනු දුටුවේය.

"සිම්කින්, උඹ නිකම් ඇදිල ගිහින් ජරාවාස වෙලා වගේ.මොකද අවුල? ආදර ප්‍රශ්ණයක්ද, නැත්නම් ණයක් ගෙවා ගන්න බැරුවද?"

"දෙකම නෙවෙයි." සිම්කින්ස් කීවේය.

"එහෙනම් ජොලියෙ ඉඳපන්, ඔය ප්‍රශ්ණ දෙක ඇරෙන්න වෙන ඕන එකකට විසඳුම් තියෙනවා"

"මට නම් එහෙම හිතෙන්නෙ නෑ" සිම්කින්ස් තම යහළුවා අසලින් ඉඳගෙන සිද්ධිය  මුලසිට කියා දුන්නේය.

"අහ්.. දැන් මට තේරෙනවා, කොණ්ඩෙ වවා ගත්තු මැරයෙක් අපේ ගේ දිහා බලාගෙන පාරෙ උඩට පහලට යන්නෙ මොකද කියලා. උන් ඔයාගෙ පස්සෙන් වැටිල ඉන්නෙ. උඹ පත්තර කාරයෙක් කියල, ඒ කියන්නෙ පාවාදෙන්නෙක් කියල දැන ගත්තම, උන් කළුවර දවසක උඹව උස්සාවි"

"මේක නම් නියමයි" සිම්කින්ස් කීවේ ඔළුව අත් දෙක අතර රඳවාගෙනය.

"ඔය අරාජිකවාදියො බය නැති කාණ්ඩයක්ද? යමක් කරන්න අවදානමක් ගන්න කැමති පිරිසක්ද?"

ඒක නම් මම දන්නෙ නැහැ, උන්ගෙ කයිවාරුව නම් තියෙනවා, නමුත් කළුවර පාරකදී මාව උස්සන්න නම් උන්ට එච්චර අමාරුවක් නැහැ. 

"මෙහෙ බලපන්" සෙඩ්ලිට්ස් කීවේය. “මගේ ලඟ පොඩි අදහසක් තියෙනවා. මට උන්ට දේශනයක් කරන්න ඉඩ දීපන්, "අරාජිකත්වයේ රසායනය" ගැන. ඒක නියම විෂයයක්"

"ඉතින් ඒකෙන් මොකද්ද වෙන සෙතේ?"

"උඹ මගේ දේශනය අහල බලපන් කෝ, ඒක අහල අරාජිකවාදීන්ගෙ කෙස් කෙළින් නොවුනොත් නම්, මම උන් නිර්භීත මිනිස්සු කියල පිළිගන්නම්. ක්ලෙමන්ට් තානායමේ තියෙනවා අපේ ශිෂ්‍යයෝ පරීක්ෂණ කරන්නයි, දුම් බොන්නයි එකතු වෙන කාමරයක්.ඒක බාගෙට ක්ලබ් එකක්, බාගෙට දේශන ශාලාවක්. මම යොජනා කරනවා අපි අරාජිකවාදීන් මේ කාමරයට කැඳවලා, දොරවල් වහලා, ඩයිනමයිට් හා වෙනත් පුපුරණ ද්‍රව්‍ය ගැන දේශනය පැවැත්විය යුතුයි. මා ඇමරිකාවේ සිට පැමිණි අරාජිකවාදියෙකු ලෙස සභාවට හඳුන්වා දිය යුතුයි. එසේම දොරවල් වසා දමන්නේ, පොලිසියෙන් ඇතිවිය හැකි බාධා වැළැක්වීමට බවත් කියන්න. කාමරයේ, බියර් පීප්පයකුත් තියමු. මා, අරාජිකවාදය ගැන, මෙහෙදී අවුරුදු දහයක් ගතවන දේවල්  විනාඩි දහයෙන් ඉගෙන ගන්න පුලුවන් ඇමරිකාවේ සිට  පැමිණි බවත් කියන්න. ආයේ කියන්න, මම මුළු ජීවිතේම කැප කළේ පුපුරන ද්‍රව්‍ය පිළිබඳ අධය්‍යනය කරන්නටය කියා.මට පොඩි වෙස්වළා ගැනීමක් කරන්න වේවි. නමුත් නුඹ දන්නව නෙ මම හොඳ, විනෝදයට රඟපාන නළුවෙක් බව.ඉතින් ඒ පැත්ත ගැන නම් කිසි සැකයක් තියා ගන්න එපා. අවසාන වශයෙන් කියන්න, නුඹට වෙනත් කටයුත්තකට එළියට යන්න සිදු වෙන බවත්, පැය කීපයක් ඔවුන්ව විනෝද කරන්න මාව යොදවන බවත්.


"මට වෙලා තියෙන විනාසෙට, මේක පිහිටක් වෙන්නෙ කොහොමද කියල මට නම් හිතා ගන්න බෑ." සිම්කින්ස් පැවසුවේය. "මම කියන හැටියකට කරන්නම්, කොහොමටත් මම හිතන් ඉන්නෙ ඊලඟ සමිති වාරයෙදි සභාව මැද බෝම්බයක් පුපුරවා ගන්නයි"

සිකුරාදා දින එනම් දේශනය පැවැත්වීමට නියම වූ දින, ක්ලෙමන්ට් තානායමේ, එම විශාල කාමරයෙහි "කට කැපෙන්නට" සෙනඟ පිරී සිටියේය…

පළමු කොටස අවසානයි.

දෙවන කොටසට මෙතනින් යන්න


No comments:

Post a Comment

ඔබේ අදහස්.......