Thursday 4 April 2013

අරාජිකවාදයේ රසායනය (දෙවන කොටස)



එහි රැස් වූවෝ, කාමරයේ කෙලවරක තැබූ වේදිකාවකුත්, පිටුපස කාමරයකට විවෘත වන දොරකුත් දුටුවහ.වේදිකාව මත තිබූ මේසය උඩ, පෙට්ටි, රසායනික උපකරණ, හා වෙනත් විද්‍යාත්මක මෙවලම් තබා තිබුණි.අට වදිද්දී, තරුණ සිම්කින්ස් තනිවම මේසය අසල පෙනී සිටියේය.
 
මාගේ සහෝදර අරාජිකවාදීනි, ඔබ හොඳින් දන්නවා අපේ බොරු "කයිවාරු" ගැන හා "කටින් බතල හිටවීම" ගැන මට එපා වෙලයි ඉන්නෙ. මම වාසනාවන්ත උනා ඇමරිකාවේ ක්‍රියාත්මක අරාජිකවාදියෙකුගේ සහය ලබා ගන්න.අපි දොරවල් අගුළු දාලා යතුරු දරන අය කිට්ටුවෙන් තබමු. ගින්නක් හදිසියේ ඇති උනොත්, ඒ අයට ඉක්මණින් පැමිණ ඒක නිවා දමන්න පුලුවන්. ගින්නක් ඇතිවීමේ මහ අවදානමක් නෑ, නමුත් පොලිසිය පැමිණ බාධා කිරීම වැලැක්විය යුතුයි. ඔබටත් පෙනෙන පරිදි, ජනේල වසා ලී ගසා ආවරණය කරල තිබෙන්නෙ අඩු ගානෙ ඉර එළිය බින්දුවක් වත් කාමරයට නොවැටෙන විදියටයි. දේශනය අවසන් වන තුරු කාටවත් පිට වෙන්න බැහැ, එසේම එක ටිකට් එකෙන් දෙන්නෙකුට ඇතුල් වෙන්නත් බැහැ.

මගේ මිත්‍රයා, මහාචාර්ය ජොසියා පී. සිල්වර්ස් තම මුළු ජීවිතයම කැප කළේ අද ඔහු කතා කරන්නට යන අරාජිකවාදයේ රසායන විද්‍යාව උදෙසායි. ඔහු අද පෙන්වන්න යන සමහර සොයාගැනීම් මේ එළි දැක්වෙන්නෙ පළමු වතාවටයි.අවාසනාවකට මහාචාර්යතුමා ඉන්නෙ හොඳ සෞඛ‍ය තත්වයෙන් නොවෙයි, මොකද හේතුව, ඔහු තෝරාගෙන තිබෙන ජීවිතය ඒ වගෙයි. ඔහුගේ පර්යේෂණයක් අතරතුර සිදුවූ අනපේක්ෂිත පිපිරීමකින්, ඔහුගේ වම් ඇස "ගහලා" ගියා. දකුණු කකුලත් සදහටම අබ්බගාත උනා. ඔහු ඔය වම් අත එල්ල ගෙන ඉන්නෙ ලන්ඩනයට ආවාට පසු ඔහුගේ වැඩ කාමරය තුල සිදු වූ සුළු අනතුරක් නිසයි. ඔහු තම ශරීරය හා ආත්මය මේ සඳහා කැප කළ මිනිහෙක්. ඒ නිසා ඔබ තුමන්ලා ඔහුට සාවධානව ඇහුම්කන් දෙයි කියා මම හිතනවා. අවාසනාවකට මෙන්, මට වෙනත් වැදගත් වැඩක් යෙදී ඇති නිසා ඔබ සමඟ රැඳෙන්නට පුළුවන් කමක් නැහැ. එබැවින්, මම මහැදුරුතුමා ඔබලාට අඳුන්වා දී, ඔබේ අවසරය පිට, පසුපස දොරින් පිටවී යන්නම්."
මේ මොහොතේ, ලී කකුලක් බිම ගැටෙන හඬ ඇසෙන්නට විය. අත එල්ලා ගත් මිනිහෙක් කිහිළිකරු වාරුවෙන් පැමිණියේය. එක ඇසක් වසා බැන්ඩේජ් ඔතා තිබුනද, රැස් වූවන් වෙත අනෙක් ඇසෙන් ඔහු හෙළුවේ මිත්‍රශීලී බැල්මකි.
අරාජිකවාදීනි, පිළිගන්න ඇමරිකාවෙන් පැමිණි, මහාචාර්ය ජොසියා පී. සිල්වර්ස්!”
මහාචාර්යතුමා හිස නමා ආචාර කළ අතර, පිරිස අත්පොළසන් දුන්හ. අත්පොළසන් නද මතුවෙත්ම, වෙළා නොතිබූ අත එසවූ ඔහු, "මහත්වරුනි, මම ඉල්ලා හිටිනවා අත්පුඩි නොගසන ලෙස" යැයි කීය.
මොන තරාතිරමේ මිනිසුන් පිරිසකට වුවත් "මහත්වරුනි" යයි ඇමතීම ඇමරිකාවේ ක්‍රමය ලෙස පෙනී ගියේය.  
"මා මෙහි ගෙනැවිත් ඇති ඇතැම් පුපුරන ද්‍රව්‍ය අතිශයින් සංවේදීයි. ඉතා සුළු කම්පණයකින් වුවත් ඒවා පිපිරී යා හැකි නිසා, මා ඉතා නිහඬව මට සවන් යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.මම විශේෂයෙන් ආයාචනා කර සිටිනවා, පොළොව මත තදින් පය නොගටන ලෙස."
ඔහු මේ වාක්‍යය කියා අවසන් වන්නටත් පෙරම, සිම්කින්ස් පෑල දොරින් ලිස්සා ගොස් අවසන්ය. මේ පළා යාම, "බාගෙට කැඩී බිඳී සිටි" මහාචාර්ය තුමා දෙස විස්මයාත්මක හා අගය කරන සුළු බැල්මක්  හෙලා සිටි පිරිස කෙරේ ඇතිකලේ, අසරණ හැඟීමකි.
මහාචාර්යවරයා මේසය මත වූ පෙට්ටි වලින් එකක් තමා වෙත ඇද ගෙන එහි පියන විවර කලේය. තම නොකැඩුණු අත එය තුලට දැමූ ඔහු, එතුලින් ගත් ලී කුඩු වැනි දෙයක් තම ඇඟිළි අතරින් වැටෙන්නට සලස්සවමින්, "මහත්වරුනි, මේ තමා ලෝකයා ඩයිනමයිට් ලෙස හඳුන්වන ද්‍රව්‍යය" කියා නොසැලකිල්ලෙන් කීවේය.
මම ඩයිනමයිට් වල කිසි වරදක් කියන්නේ නැහැ. නමුත් එය ඉතා බලගතු ද්‍රව‍යයක් ලෙස හැඳින් වූ කාලය අවසානයි. ඒක ගැලපෙන්නෙ ප්‍රවාහනයට ගාටන දුම් කෝච්චි යොදාගත්තු, ලියුම් වෙනුවට ටෙලිග්‍රෑම් ගහපු, වාෂ්ප නැව් වෙනුවට රුවල් නැව් පාවිච්චි කරපු අතීතයටයි. මම අද ඔබතුමන්ලාට ඊට වඩා ඉතාම බලවත් වගේම මාරාන්තික වෙනත් පුපුරන ද්‍රව‍යයක් අද රාත්‍රියේ හඳුන්වා දෙන්න යන්නේ ඉතාම සතුටෙන්. එයට කල හැකි දේ දුටුවාම ඔබ නිසැකවම ඩයිනමයිට් හා නයිට්‍රොග්ලිසරීන් වගේ "හානි රහිත" පුපුරන ද්‍රව‍ය පිළිබඳ හාස්‍යයක් ඇතිකර ගන්නවා සිකුරුයි. "
මහාචාර්ය තුමා තම අසන්නන් දෙස බැළුවේ කාරුණික අනුකම්පාවෙනි. කතා කරන කාළය තුල ඔහුගේ ඇඟිලි අතරින් ලිස්සා පෙට්ටිය තුලට වැටෙන කහ පාට මිශ්‍රණය අවසන් වූ වහාම ඔහු තව මිටක් පෙට්ටිය තුලින් ගත්තේය.
ප්‍රේක්ෂක අරාජිකවාදියෝ මෙවිට අසහනකාරී හැඟීම් එකිනෙකා වෙත හුවමාරු කර ගන්නට වූහ.
"ඒ කොහොම උනත්, අපට මේ ද්‍රව‍යය උවමනා වෙනවා, අළුත් පුපුරන ද්‍රව්‍යය සමඟ සසඳා බලන්න." ඔහු තවත් පෙට්ටියකින් එළියට ගත් කහ පාට ගඩොලක් වැනි කැටයක් පෑවේය. 
මේ ඝණ ස්වරූපයේ ඩයිනමයිට් කැටයට පුළුවන් මේ මුලු පළාතම විනාශ කරන්න : ශාන්ත පවුළු දේවස්ථානය සුන්බුන් කරන්න මේ කුඩා කැටය ප්‍රමාණවත්. එනිසා කොපමණ යල් පැන ගියත් අපි ඩයිනමයිට් සමඟ සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි, හරියට සියවස් ගණනකට පෙර තම මත වාදය වෙනුවෙන් මිය ගිය ප්‍රතිසංස්කරණවාදීන්ගේ මතය අදට නොගැලපුනත්, අපි ඔවුනට ගරු කරනවා වගේ."
මම මේක අවස්ථාවක් කර ගන්නවා මේ ඩයිනමයිට් කැටය යොදාගෙන පර්යේෂණ කීපයක් කර පෙන්වන්න. මෙසේ කියමින් ඔහු තම නිදහස් අත පද්දා ආසන පේළි දෙක මැදට එම කැටය විසි කළේය. එය බොල් හඬක් නඟා බිම වැටුනි.
දෙවන කොටස අවසානයි

No comments:

Post a Comment

ඔබේ අදහස්.......