Thursday 22 August 2013

අරාජිකත්වයේ රසායනය (පස් වන කොටස)




අරාජිකත්වයේ රසායනය

පස් වන කොටස

"දැන්"ඔහු දිගු හුස්මක්ගනිමින් කතා කළේය. 

"අපට පහසුවෙන් හුස්ම ගන්න පුළුවන්. තනි මිනිහෙකුට පුළුවන් මෙයින් එක පෙත්තක් කුඩා කුප්පියක, වතුර සමඟින් දමා, එය කබා සාක්කුවේ තබාගෙන, ට්‍රැෆල්ගාර් චතුරශ්‍රයට ගිහින්, එහි මැදට මෙය විසි කරන්න. එතකොට හැතැප්ම හතරක අරය ඇති ප්‍රදේශයක තිබෙන සියළු දේ විනාශ වී  යාවි. "

"ඒ තැනැත්තාටත්, තමාගේ කැප කිරීම වෙනුවෙන්, සුන්දර ක්ෂණික මරණයකට හිමිකම් කියන්නත් හැකි වේවි.මේක  මගේ නිෂ්පාදනයේ තිබෙන අඩු පාඩුවක් විදියට සමහරු දැක්කත්, මම එය දකින්නේ වෙනස් විදියටයි. මෙය භාවිත කරන්නා, තමා වටේ සිටින අයගේ ඉරණම තමාත් බෙදාගන්නට හිත හදා ගත්තෙක් විය යුතුයි. මගේ නිෂ්පාදනයේ "රජ වාසිය" විදියට මම දක්වා සිටින්නේ මෙන්න මේ ලක්ෂණයයි."

"මොකද එමඟින්, මේ ක්‍රියාව සඳහා අපේ තිබෙන කැමැත්ත, ක්ෂණිකව මැන බැලෙනවා. ජෝන්, අර එහා කාමරේ තිබෙන වයර් අමුනපු මැෂින් එක බොහොම පරිස්සමින් අරන් එන්න."

එම යන්ත්‍රය ගෙනෙන ලදුව, මේසය මත තබන ලදී. 

"මේක", කිසියම් නොපෙනෙන දෙයක් ඇඟිලි දෙකින් අල්ලාගෙන එය පෙන්වමින් මහාචාර්යතුමා සභාව අමතන්නට විය. 

"ඉතාම සියුම් ඉඳිකටුවක්". "මම මේ රසායන ද්‍රව්‍යයෙන් ඇසට නොපෙනෙන තරම් බිඳක් මේ ඉඳිකටු තුඩට ගන්නම්" 

මෙහිදී ඔහු බේසමෙන් ගත් පෙත්තක්, පරිස්සමෙන් මේසය මත තබා, ඉතාම සියුම් බිඳිත්තක් එයින් ගෙන ඉඳිකටු තුඩ මත රඳවා පෙන්වීය.
 
 "මෙම අංශුව, අන්වීක්ෂයක් නොමැතිව දැක ගත නොහැකියි. මම මේ ඉඳිකටුව මෙම උපකරණයට සම්බන්ධ කරලා, එයට විදුලිය සපයන්නම්.
 
ඔහුගේ හස්තය විදුලි බොත්තම උඩට ලං වන විටම, "එපා!, එපා!" යන කෑ ගැසීම් ඇති වුනද, ඔහු බොත්තම මතට තම ඇඟිල්ල පහත් කලේය. එකෙනෙහිම මහත් පිපිරීමක් ඇති විය. ගොඩනැගිල්ලේ පදනම තෙක්ම දෙදරා ගියාක් මෙන් විය. ඝණ දුමාරයක් ප්‍රේක්ෂකයනගේ හිස් වලට උඩින් පාවී ගියේය. තුනී වී යන දුම තුලින් මහාචාර්ය තුමා තම නරඹන්නන් දෙස බැළුවේය.

සියල්ලෝම සිටියේ බංකු යටය. 

නොසන්සුන් නාදයක් ශාලාවේ සෑම තැනින්ම නැගුණි."මම හිතනවා කාටවත් තුවාලයක් නැහැ කියලා" ඔහු කැළඹුනු හඬින් කතා කළේය. 

"මම ඕනවට වඩා ප්‍රමාණයක් ඉඳිකටු තුඩට ගත්තා. නමුත් ඒකෙන් ඔබට හිතාගන්න පුළුවන් වෙන්න ඇති විශාල ප්‍රමාණයක් යොදා ගත්තා නම් විය හැකි ප්‍රථිඵලය. කරුණාකර නැවත ඉඳගන්න. ඒ මගේ අවසාන පරීක්ෂණයයි."
 
සභාව නැවත තැන්පත් වූ පසු, එක්ව නැඟුනු තවත් සැනැසුම් සුසුමක් වහලය දක්වා පැතිරී ගියේය.සභාපති අසුන තමා වෙත ඇදගත් මහැදුරු තුමා, දැළි බැඳුනු නළල පිසිමින් වාඩි විය. 

සභාවේ සිටි එකෙක් වහාම නැඟී සිටියේය. "මම අපගේ ස්තුතිය පුද කරන්න කැමතියි මහාචාර්ය සිල්වර්ස් ට ඔහුගේ සිත්ගන්නා සුළු...."

මහාචාර්ය තුමා තම අත එසෙව්වේය. "මොහොතක් ඉන්න" 

"ඇත්තටම මම අවසාන කලේ නැහැ.මට තිබෙනවා ඔබ සැමට කිසියම් යෝජනාවක් කරන්නට. ඔබට පෙනෙනවාද මේ අපේ හිසට ඉහලින් තිබෙන දුමාරය? විනාඩි විස්සක් තුල මේ ධූමය වාතය තුල පැතිරී යාවි. මම ඔබට කිව්වේ මේ අගනා පුපුරන ද්‍රව්‍යයේ තිබෙන වාසි වලින් භාගයක් පමණයි. මේ ධූමය වාතය සමඟ මිශ්‍ර වූ විට, මාරාන්තික විෂක් බවට පත්වෙනවා. එනිසා අපට මෙම කාමරයේ තවදුරටත් ආරක්ෂිතව සිටිය හැක්කේ තවත් මිනිත්තු දහනවයක් පමණයි. ඊලඟට ගන්නා පළමු හුස්මේදීම, අපි ක්ෂණිකව මිය යනවා. එය වාසනාවන්ත මරණයක්. කිසි වේදනාවක් නැහැ. එනිසා මුහුණේ විකෘති පෙනුමක් ඇති වෙන්නේ නැහැ. 

නමුත් අපේ ආසන මතම, දරදඬු වී මිය ගොස් සිටීවි. මගේ යෝජනාව නම් මහත්වරුනි, අපි ලන්ඩනය ට අවශ්‍යම පාඩම උගන්වමු. කැපකිරීම් නැතිව ප්‍රථිඵල ලබා ගන්නට බැහැ. අපි අරාජිකත්වයේ දර්ශනය වෙනුවෙන් දිවි කැප කරමු. මම අපේ මරණවලට හේතුව පැහැදිලි කරමින් ලියවිල්ලක් ලියා, මගේ කාමරයේ තබලයි ආවේ. අද මධ්‍යම රාත්‍රියේ දී, මේ ලියවිල්ල ලන්ඩනයේ පුවත්පත් වලට වලට යැවෙනවා ඇති. හෙට වන විට ලොව පුරා අපේ නම් ලොව පුරා රැව් දේවි. මම දැන් මගේ යෝජනාව ඡන්දයට ඉදිරිපත් කරනවා. මේයට පක්ෂ අය, දකුණු අත ඔසවා කැමැත්ත පළ කරන්න.

                                             පස් වන කොටස අවසානයි.

No comments:

Post a Comment

ඔබේ අදහස්.......