Wednesday 27 February 2013

මිනී වලේ සෙබළාගේ අබිරහස් පරීක්ෂණ : Major Christopher William Clayton Hutton



මිනී වලේ සෙබළාගේ අබිරහස් පරීක්ෂණ
Major Christopher William Clayton Hutton

දෙවන ලෝක යුධ සමයේ ලෝකය බෝම්බ හඬින් සෙලවෙද්දී උමතු පෙනුමක් සහිත එක්තරා පුද්ගලයෙක් මහා බ්‍රිතාන්‍යයේ පාළු කනත්තක සොහොන් ගෙයක් තුල අපූරු පර්යේෂණ මාලාවක නිරත විය.ඔහු මේජර් ක්‍රිස්ටොපර් ක්ලේටන් හට්න් විය. 

මේජර් හට්න්ගේ පර්යේෂණ ඉලක්ක වූයේ, සිර ගත වූ මිත්‍ර පාක්ෂික සෙබළුනට ජර්මන් උකුසු ඇසින් බේරී සිර කඳවුරු වලින් පැනීමටත්, එයින් පසු සතුරු දේශය මැදින් පණ රැකගෙන ආපසු මඟ සොයාගෙන පැමිණීමටත් අවශ්‍ය උපකරණ නිපදවීමටය.

මේජර් වරයෙකුට හිමි යුධ රාජකාරි අවසන ඔහු සොහොන් බිමේ හුදකලා බංකරයට වදී.මතුපිටින් තණ පිඩැල්ලෙන් ආවරණය වූ එය, අඩි 20, අඩි 12 ප්‍රමාණයේ අඩි 8 ගැඹුරු කුටියකි.මැදියම් රැය පසුවන තුරු ඔහු අනලස්ව නොයෙක් පර්යේෂණ සිදුකරයි.

ඔහු මුලින්ම කල්පනා කලේ සතුරා අතින් මිදී ආපසු මඟ සොයන සොල්දාදුවකුට ඇවැසි ඉතා නිවැරැදි හා මැනැවින් සකස් වූ සිතියමක් පිළියෙල කිරීමටය.මේ සඳහා ඔහු ප්‍රථම කොට ජර්මනියේ, ප්‍රංශයේ හා පෝලන්තයේ ඇතුළු රටවල් ගණනක හොඳම සිතියම් සාදන සමාගම් හමු වී තොරතුරු ලබාගති.ඊලඟට ඔහු අවධානය යොමු කලේ සිතියම මුද්‍රණය කිරීමට සුදුසු මාධ්‍යයක් තෝරා ගැනීමටය.

මෙම සිතියම තෙමුණු විට හානි නොවන, නමා දිග හළ පසු නැමුම් පහරවල් නොරැඳෙන, නමන විට ශබ්ද නොනැඟෙන, එසේම කුඩා අවකාශයක් තුල සඟවා සතුරාට සැක ඇති නොවන ලෙස සිරකරුවන් අතට පත් කළ හැකි විය යුතුය.

මොහු මල්බෙරි පල්පය යොදා ගෙන කඩදාසියක් නිපදවා එහි සිතියම් මුද්‍රණය අත් හදා බැලීය. එම කඩදාසිය ළූනු සිවියක් තරම් ගණකම අඩු වූත් අතිශයින්ම කල් පවතිනා වූත් කඩදාසියකි.මෙය බැළූ බැල්මට පාන් එතීමට ගන්නා නිකම්ම නිකම් කරදාසියකි. නමුත් හිරු එළියට අල්ලා බලන විට කදිම සිතියමකි.යුධ සමයේ මේ ආකාරයේ සිතියම් 400,000 පමණ නිපදවන ලදී.

එතෙකින් නොනැවතුණු මේජර් හට්න් ලේන්සුවක් ලෙස පෙනෙන පරිදි සිල්ක් රෙදි කැබැළි වල සිතියම් මුද්‍රණය කළ හැකි අයුරු අධ්‍යයනය කළේය. ඔහු මේ සඳහා මුලින්ම පාවිච්චි කලේ පැරෂුට් රෙද්දකි. එහි තීන්ත බොඳ විය.මෙම අවාසිය මඟහැරීමට, ජෑම් කල් තබා ගැනීමට උපයෝගී කර ගන්නා රසායන ද්‍රව්‍යයක්  භාවිතා කරමින් ඔහු සිදු කළ පර්යේෂණයන්හි ඵලය ලෙස, අඟල් 20 x 20 රෙදි කැබැල්ලක ස්ථාන 70,000 පෙන්වන වර්ණ හතක ඉතා පැහැදිළි සිතියමක් නිපදවීමට ඔහු සමත් වීය.

සටනක් මැද හසු වන යුධ සිරකරුවෝ රඳවා තැබෙන රැඳවුම් කඳවුරු වලට නොයෙකුත් සුභසාධක සංවිධාන හා සිරකරුවන්ගේ පවුල් වලින් යැවෙන පාර්සල් සමඟ මෙකී "ලේන්සු" ද ඔව්න් අතට පත් කෙරිණි.

ජාත්‍යන්තර සම්මුතීනට අනුව, සිරකරුවෝ (Prisoners of War, POW)ක්‍රීඩා භාණ්ඩ වැනි ත්‍යාග ලබාගැනීමට හිමිකරුවෝ වූහ.මෙයින් ප්‍රයෝජන ගත් මේජර් හට්න්, මොනොපොලි පෙත් (Monopoly Boards), ස්නේක් ඇන්ඩ් ලැඩර් (Snake and Ladder) හා මේස පන්දු වැනි ක්‍රීඩා උපකරණ තුල සඟවා තමා නිපදවූ පලා යෑමේ උපකරණ, සිර කඳවුරු තුලට යැවීමට පියවර ගත්තේය. ඇතැම් උපකරණයක් චෙස් ඉත්තන් තුල සඟවා, රහස් උපදෙස් සහිතව, සිරකරුවන් අතට පත් කරන ලදී. සිරකරුවනට මේජර් හට්න් යැවූ එක් කාඩ් කුට්ටමක ජෝකර් කොළයේ ඇති සටහනට අනුව කොළ පෙළ ගැස්වූ විට සතුරු අඩවියේ සිතියමක් මැවෙයි.


 

මේජර් හට්න් තමා යවන ක්‍රීඩා උපකරණ ආදියේ, බයිබලයෙන් උපුටා ගත් පාඨ සඳහන් කරනට අමතක නොකළේය. "සොයන්නාට සම්භ වේ", "තට්ටු කරන්නාට දොර හැරේ", "ඉල්ලන්නාටම දෙනු ලබන්නේය" ආදී සටහන් ගැන සිත යොදවන සිරකරුවෝ, තම දාම් ලෑල්ලට "තට්ටු" කිරීමෙන්, එතුල සඟවා ඇති පණිවුඩ හුවමාරු උපකරණය "දෙනු ලබන්නේය."

යුද්ධය අවසන ජර්මන් යුධ විශේෂඥයින්ගේ ද නොමඳ පැසැසුමට මෙකී නිර්මාණ ලක් වීය. අවාසනාවකට මෙන් මේජර්වරයා තමා නිපදවූ උපකරණවල සාම්පල තබා ඡායාරූපයක් වත් තබා නොගත් හෙයින් අද ඒ උපකරණ ඇතෙමක් සොයා ගැනීමට නැත.

සතුරු බිම මං මුලා වූ අයෙකුට අත්‍යාවශ්‍ය උපකරණයකි මාලිමාව.මේ ගැන සිත යොමු කළ හට්න් සෙබළුනගේ යුධ කබායේ බොත්තම් තුල සඟවා තැබිය හැකි ක්ෂුද්‍ර මාලිමාවක් සැළැසුම් කළේය.  මාලිමාව දැකීමට නම් බොත්තම කරකවා විවර කළ යුතුය. සාමාන්‍යයෙන් කරන පරිදි වාමාවර්ථව කැරකැවූ විට එය බුරුල් වෙනවා වෙනුවට තවත් තද වෙයි (Reversed Screw Threads). එය විවර කළ හැක්කේ රහස දන්නා අයෙකුට පමණි.

ඊට අමතරව, සිරකරුවකු එදිනෙදා පරිහරණය කරන පැන්සල් විල්ල, පෑන, බොත්තම, ඉඳිකටුව, වැනි උපකරණ වලට කාන්දම් කැවීමෙන් ඒවා දිශා දර්ශක ලෙස යොදා ගත හැකි අයුරින් සකස් කෙරිණි. ලෝ ප්‍රකට බ්ලේඩ් හා රේසර් තනන ජිලට් (Gillette) සමාගම මෙහිදී ඔහුට සහාය විය.සිරකරුවකු රැවුල කැපීමෙන් පසු, තලය නූලකින් එල්වූ විට, සමාගමේ මුල අකුර වන උතුරු දෙස දක්වයි.

එපමණක් නොව, ඔහු සිර කරුවනට අවශ්‍ය ආයුධ ලබා දීමටද ක්‍රම සකස් කළේය. ඉතා තියුණු තලයක්, නියනක්, කියත් තල තුනක්, අගුලු හරිනයක් හා කම්බි කපන අඬුවක් ඇතුළු උවාරණ රැසක් සහිත පළා යන්නාගේ පිහිය මේජර් සට්න් ගේ සැළසුමකි. ඔහු රැඳවුම් කඳවුරු වලට යැවූ බාල පෙනුමක් සහිත පනාවක් විවර කර ගන්නා සිරකරුවෝ එතුල සඟවා ඇති, සිර මැඳිරියේ කම්බි කූරු කපා දැමිය හැකි තියුණු කියත් තලය දකිති.

පළමු ලෝක යුධ සමයේ සිරෙන් පැන අත්දැකීම් ඇති ජොනී එවන්ස්, මේජර්වරයා හමු වූ විටෙක පවසන්නේ, සිරෙන් පැනීම පහසු බවත් ඉන් පසු ආහාර හා වතුර නොමැතිව සතුරු බිම හරහා පළා ඒම ඊට වඩා අපහසු බවත්ය.

මෙයට විසඳුම් සොයන හට්න්, සිගරැට් ටින් 20,000 පමණ සොයා ගෙන, එක් එක් ටින් එක තුල කෑම, වතුර, සිතියම්, කියතක්, විදේශ මුදල්, දුරදක්නයක් ඇතුළු භාණ්ඩ රැසක් අඩංගු කරන අයුරු අත්හදා බලා සාර්ථක විය.ඔහු සාන්ද්‍ර කරන ලද පෙති ආකාරයට ආහාර (Condensed food) ගැටළුවත්, රබර් බෝතලයක් මඟින් වතුර ගැටළුවත්, විසඳීය.තවද ටින් එක ආවරණය කළ පොලිතීන් කවරය ජලය එකතු කර තබාගත හැකි ලෙස සැකසීය. මෙම ටින් එකක් අහස් යානයකින් හෙළූ විට එය අහුලා ගන්නා පළායන්නාට,මඩ කඩිත්තකින් හෝ පොලිතීන් කවරයට එක් කර ගන්නා ජලයට, ජලය පිරිපහදු කරන පෙත්තක් දැමූ විට, පානයට සුදුසු ජලය ලබා ගත හැක. 1941 පමණ වනවිට සෑම බ්‍රිතාන්‍ය ගුවන් සෙබළෙකු සතුවම මෙවැනි ටින් බඳුනක් තිබුණි.

සතුරාගේ සෝදිසි මෙහෙයුම් අතර සිවිල් වැසියකු වේෂයෙන් පළායාමට සිවිල් ඇඳුම් අවශ්‍ය වේ. මේ සඳහා හට්න්ගේ නිපැයුම වූයේ, තෙත් කල විට සිවිල් ඇඳුමක රටා මතුවන සේ සකස් කළ කබායකි. එසේම,බත්කෙණ්ඩ වැසෙන උසැති හමුදා බූට් සපත්තු වල උඩ කොටස (Legging) පහසුවෙන් ඉවත් කර, සාමාන්‍ය සිවිල් සපත්තු ලෙස පරිවර්තනය කල හැකි ලෙස සකසන ලදී. මෙම ඉවත් කරන උඩ කොටස වෙස්ට් කෝට් (Waistcoat) එකක් ලෙස භාවිත කළ හැකිවිය. මෙම සපත්තු වල අඩිය තුලද උපකරණ හා සිතියම් අඩංගු කැරුණි.

ඔහු MI9 බ්‍රිතාන්‍ය හමුදා බුද්ධි ඒකකය (British Military Intelligence) සඳහා මෙකී පර්යේෂණ වල නිරත වූ අතර ඒවායේ ප්‍රථිඵල ලෙස නිපදවූ උපකරණවල පිහිටෙන් යුධ සිරකරුවන් ලෙස හිට්ලර් ගේ අත් අඩංගුවේ පසු වූ 35,000 අධික මිත්‍ර පාක්ෂික සොල්දාදුවෝ එයින් මිදී රහසින් පැන තම රටවල් බලා පැමිණීමට මඟ පාදා ගත්හ.

කනත්තේ සිට පරීක්ෂණ සිදුකල මේජර් හට්න් හෙවත් "ක්ලටී" පසුව මෙම සිදුවීම් අළලා වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කිරීමට අදහස් කර සිටි බවක් සඳහන් වෙයි. ඔහු 1965 දී මිය ගියේය.


Christopher Hutton.Available from : http://en.wikipedia.org/wiki/Christopher_Hutton. [27th February 2010]

Dhanu, 1965, ”minee wale sebalaage abirahasa”, Rasawahini, 1965 September, p 48


No comments:

Post a Comment

ඔබේ අදහස්.......