Thursday, 22 August 2013

අරාජිකත්වයේ රසායනය (පස් වන කොටස)




අරාජිකත්වයේ රසායනය

පස් වන කොටස

"දැන්"ඔහු දිගු හුස්මක්ගනිමින් කතා කළේය. 

"අපට පහසුවෙන් හුස්ම ගන්න පුළුවන්. තනි මිනිහෙකුට පුළුවන් මෙයින් එක පෙත්තක් කුඩා කුප්පියක, වතුර සමඟින් දමා, එය කබා සාක්කුවේ තබාගෙන, ට්‍රැෆල්ගාර් චතුරශ්‍රයට ගිහින්, එහි මැදට මෙය විසි කරන්න. එතකොට හැතැප්ම හතරක අරය ඇති ප්‍රදේශයක තිබෙන සියළු දේ විනාශ වී  යාවි. "

"ඒ තැනැත්තාටත්, තමාගේ කැප කිරීම වෙනුවෙන්, සුන්දර ක්ෂණික මරණයකට හිමිකම් කියන්නත් හැකි වේවි.මේක  මගේ නිෂ්පාදනයේ තිබෙන අඩු පාඩුවක් විදියට සමහරු දැක්කත්, මම එය දකින්නේ වෙනස් විදියටයි. මෙය භාවිත කරන්නා, තමා වටේ සිටින අයගේ ඉරණම තමාත් බෙදාගන්නට හිත හදා ගත්තෙක් විය යුතුයි. මගේ නිෂ්පාදනයේ "රජ වාසිය" විදියට මම දක්වා සිටින්නේ මෙන්න මේ ලක්ෂණයයි."

"මොකද එමඟින්, මේ ක්‍රියාව සඳහා අපේ තිබෙන කැමැත්ත, ක්ෂණිකව මැන බැලෙනවා. ජෝන්, අර එහා කාමරේ තිබෙන වයර් අමුනපු මැෂින් එක බොහොම පරිස්සමින් අරන් එන්න."

එම යන්ත්‍රය ගෙනෙන ලදුව, මේසය මත තබන ලදී. 

"මේක", කිසියම් නොපෙනෙන දෙයක් ඇඟිලි දෙකින් අල්ලාගෙන එය පෙන්වමින් මහාචාර්යතුමා සභාව අමතන්නට විය. 

"ඉතාම සියුම් ඉඳිකටුවක්". "මම මේ රසායන ද්‍රව්‍යයෙන් ඇසට නොපෙනෙන තරම් බිඳක් මේ ඉඳිකටු තුඩට ගන්නම්" 

මෙහිදී ඔහු බේසමෙන් ගත් පෙත්තක්, පරිස්සමෙන් මේසය මත තබා, ඉතාම සියුම් බිඳිත්තක් එයින් ගෙන ඉඳිකටු තුඩ මත රඳවා පෙන්වීය.
 
 "මෙම අංශුව, අන්වීක්ෂයක් නොමැතිව දැක ගත නොහැකියි. මම මේ ඉඳිකටුව මෙම උපකරණයට සම්බන්ධ කරලා, එයට විදුලිය සපයන්නම්.
 
ඔහුගේ හස්තය විදුලි බොත්තම උඩට ලං වන විටම, "එපා!, එපා!" යන කෑ ගැසීම් ඇති වුනද, ඔහු බොත්තම මතට තම ඇඟිල්ල පහත් කලේය. එකෙනෙහිම මහත් පිපිරීමක් ඇති විය. ගොඩනැගිල්ලේ පදනම තෙක්ම දෙදරා ගියාක් මෙන් විය. ඝණ දුමාරයක් ප්‍රේක්ෂකයනගේ හිස් වලට උඩින් පාවී ගියේය. තුනී වී යන දුම තුලින් මහාචාර්ය තුමා තම නරඹන්නන් දෙස බැළුවේය.

සියල්ලෝම සිටියේ බංකු යටය. 

නොසන්සුන් නාදයක් ශාලාවේ සෑම තැනින්ම නැගුණි."මම හිතනවා කාටවත් තුවාලයක් නැහැ කියලා" ඔහු කැළඹුනු හඬින් කතා කළේය. 

"මම ඕනවට වඩා ප්‍රමාණයක් ඉඳිකටු තුඩට ගත්තා. නමුත් ඒකෙන් ඔබට හිතාගන්න පුළුවන් වෙන්න ඇති විශාල ප්‍රමාණයක් යොදා ගත්තා නම් විය හැකි ප්‍රථිඵලය. කරුණාකර නැවත ඉඳගන්න. ඒ මගේ අවසාන පරීක්ෂණයයි."
 
සභාව නැවත තැන්පත් වූ පසු, එක්ව නැඟුනු තවත් සැනැසුම් සුසුමක් වහලය දක්වා පැතිරී ගියේය.සභාපති අසුන තමා වෙත ඇදගත් මහැදුරු තුමා, දැළි බැඳුනු නළල පිසිමින් වාඩි විය. 

සභාවේ සිටි එකෙක් වහාම නැඟී සිටියේය. "මම අපගේ ස්තුතිය පුද කරන්න කැමතියි මහාචාර්ය සිල්වර්ස් ට ඔහුගේ සිත්ගන්නා සුළු...."

මහාචාර්ය තුමා තම අත එසෙව්වේය. "මොහොතක් ඉන්න" 

"ඇත්තටම මම අවසාන කලේ නැහැ.මට තිබෙනවා ඔබ සැමට කිසියම් යෝජනාවක් කරන්නට. ඔබට පෙනෙනවාද මේ අපේ හිසට ඉහලින් තිබෙන දුමාරය? විනාඩි විස්සක් තුල මේ ධූමය වාතය තුල පැතිරී යාවි. මම ඔබට කිව්වේ මේ අගනා පුපුරන ද්‍රව්‍යයේ තිබෙන වාසි වලින් භාගයක් පමණයි. මේ ධූමය වාතය සමඟ මිශ්‍ර වූ විට, මාරාන්තික විෂක් බවට පත්වෙනවා. එනිසා අපට මෙම කාමරයේ තවදුරටත් ආරක්ෂිතව සිටිය හැක්කේ තවත් මිනිත්තු දහනවයක් පමණයි. ඊලඟට ගන්නා පළමු හුස්මේදීම, අපි ක්ෂණිකව මිය යනවා. එය වාසනාවන්ත මරණයක්. කිසි වේදනාවක් නැහැ. එනිසා මුහුණේ විකෘති පෙනුමක් ඇති වෙන්නේ නැහැ. 

නමුත් අපේ ආසන මතම, දරදඬු වී මිය ගොස් සිටීවි. මගේ යෝජනාව නම් මහත්වරුනි, අපි ලන්ඩනය ට අවශ්‍යම පාඩම උගන්වමු. කැපකිරීම් නැතිව ප්‍රථිඵල ලබා ගන්නට බැහැ. අපි අරාජිකත්වයේ දර්ශනය වෙනුවෙන් දිවි කැප කරමු. මම අපේ මරණවලට හේතුව පැහැදිලි කරමින් ලියවිල්ලක් ලියා, මගේ කාමරයේ තබලයි ආවේ. අද මධ්‍යම රාත්‍රියේ දී, මේ ලියවිල්ල ලන්ඩනයේ පුවත්පත් වලට වලට යැවෙනවා ඇති. හෙට වන විට ලොව පුරා අපේ නම් ලොව පුරා රැව් දේවි. මම දැන් මගේ යෝජනාව ඡන්දයට ඉදිරිපත් කරනවා. මේයට පක්ෂ අය, දකුණු අත ඔසවා කැමැත්ත පළ කරන්න.

                                             පස් වන කොටස අවසානයි.

Tuesday, 21 May 2013

අරාජිකවාදයේ රසායනය (සිව් වන කොටස)



අරාජිකවාදයේ රසායනය (සිව් වන කොටස)

මහාචාර්යතුමනි, පුපුරන ද්‍රව්‍ය පිළිබඳව ඔබතුමාගේ කට වචනය පිළිගැනීමට අප සූදානම්. අපට ඔබතුමාගේ දැනුම පිලිබඳ කිසිම සැකයක් නැහැ.ඒ නිසා, තවදුරටත් ප්‍රායෝගික පරීක්ෂණ පෙන්වමින් ඔබතුමාගේ වටිනා කාළය නාස්ති කළ යුතු නැහැ. මම මේ අදහස් පළ කළේ මගේ සගයන්ගේ අදහස් විමසා නොවෙයි, නමුත් මට හිතෙනවා මේ මුළු සභාවම මා සමඟ එකඟ වේවි කියා.

හරියට හරි, “හරියට හරි, යනුවෙන් එය අනුමත කරන හඬ ශාලාවේ හැම තැනින්ම නැඟිනි.

මහාචාර්යතුමා නැවත අනුකම්පාව පළ කරන බැල්මක් හෙලුවේය. 

ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය මා අගය කරනවා.නමුත්, ප්‍රායෝගික පරීක්ෂණ රහිත රසායන විද්‍යා දේශණයක්, හරියට ආත්මයක් නැති ශරීරයක් වගෙයි. පරීක්ෂණ යනු නව සොයාගැනීම් වල ආත්මයයි.රසායන විද්‍යාවේදී, කිසි දෙයක් ඉබේ පහළ වූ ලෙස නොගත යුතුයි.මම දැනටමත් ඔබට පෙන්වුවා මේ ද්‍රව්‍යය භාවිත කිරීමේදී කොපමණ සුලභ වැරදීම් සිදුවිය හැකිද කියා. මිනිස්සු තනියම පරීක්ෂණ කළා නම්, ඒ වැරදි කිසිදාක හමු නොවෙන්න ඉඩ තිබුනා. ඔබ මා කෙරේ තැබූ විශ්වාසය ගැන ඉතාම ස්තුතිවන්ත වෙනවා වගේම, මගේ පරීක්ෂණ නිසා ඔබට  දැනුම ලබාගැනීමට ඇති අවස්ථාව විනාශ කිරීමට, මට නොහැකියි. ඒක නොවේ මහත්වරුනි ගැටළුව, ඩයිනමයිට් වලට ගිණි ඇවිළීමට හේතුවන, තවත් සුලභව සිදු කෙරෙන වැරැද්දක් තිබෙනවා.
 
ඔහු කළිසම් කකුලේ ගසා ගිණි කූරක් දල්වා කිණිහිරය මත වූ ද්‍රව්‍යයට ගිණි ඇවිලවීය. එය ලා නිල් දැල්ලක් දක්වමින් දැවුනු අතර, ඔහු තම සහෝදර අරාජිකවාදීන් දෙස ජයාග්‍රාහී බැල්මක් හෙලීය.

පිරිස උනන්දුවෙන් වෙවුලමින් බලා සිටියදී, හදිසියේම දැල්ල මතින් පහත් වූ මහාචාර්යතුමා එය නිවා දැමීය. නැවත ඍජු භාවයට පැමිණි ඔහු

"නැවතත් මා ඔබගෙන් සමාව ඉල්ලා සිටිය යුතුයි.මොකද, මට නැවතත් ග්‍රීස් බින්දුව අමතක උණා. දැල්ල ග්‍රීස් බින්දුවට ළං උණා නම්,එය පුපුරා යනවා.මිනිහෙක් යමක් ගැන ඉතා උනන්දුවෙන් සිටින විට, අනෙක් සියළු දේ අමතක වෙනවා. මම ඩයිනමයිට් සමඟ පරීක්ෂණ අදට නවත්වනවා.”

ජෝන්, මෙන්න මේ පෙට්ටිය පරිස්සමින් අරන් ගිහින්, බිත්තර කූඩයක් තියන වගේ පරිස්සමින් එහා කාමරෙන් තියන්න, මොකද මට පේනවා, මේ පෙට්ටියෙන් නයිට්‍රොග්ලිසරීන් බේරෙනවා. ඔහු වෙව්ලමින් සිටි අතවැසියාට කීය.

පෙට්ටිය ඉවතට ගෙනයන ලදුව, රැස්වූවෝ එක හඬින් සැනසුම් සුසුම් හෙළුවෝය. 

"මහත්වරුනි, දැන් අප පැමිණ සිටින්නේ සියළු චින්තනධාරීන් විසින් මනස මෙහෙයවිය යුතු කාරණයක් ගැනයි".ඔහු තෘප්තිමත් ලෙස හිසකෙස් අතරින් ඇඟිලි යවා, ප්‍රසන්න සිනාවක් පෑවේය. "මේක මගේ සොයා ගැනීමක්. ඩයිනමයිට් එක්ක මේය සැසඳීම, හරියට නැවුම් කිරි,පෘසික් අම්ලය සමඟ සම කිරීම වගෙයි." 

කබා සාකුවට දැමූ ඔහුගේ ඇඟිළි ඉවතට පැමිණියේ බෙහෙත් පෙති පෙට්ටියක් වැන්නක් සමඟිනි. ඉන් එක පෙත්තක් කිණිහිරය මත තබා, ඉතා සීරුවෙන් පසුපසට යන අතර, ඔහු අසීමිත මෘදු බවකින් සිනාසුනේය.

"මෙය අරඹන්නට පෙර, මා නැවත අනතුරු අඟවනවා, යමෙකු පොළොව මත පය ගැටීමක් හෝ, පා ඇඟිලි මතින් හැර, යන්තම් හෝ සෙලවීමක් සිදු කළහොත්, මෙය පුපුරා යනු ඇත.ලන්ඩන් සිට චාරිංක්‍රොස් දක්වා එකිනෙක වෙන් කර ගත නොහැකි එකම සුන් බුන් ගොඩක් පමණක් ඉතිරි වෙනවා ඇති. මෙය නිපදවීමට, මගේ ජීවිතකාලයෙන්, වසර දහයක් වැය උනා. මේ මිලියනයක් විතර වටිනා පෙති ටිකෙන් පුළුවනි සියළු ප්‍රශ්න වලින් අපව මුදවන්න." 

"ජෝන්, මට වතුර බේසමක් අරන් එන්න." 

වතුර බේසම පරිස්සම් සහිතව මේසය මත තබන ලදුව, කිණිහිරය මත තුබූ පෙත්ත ඇතුලු සියලු පෙති මහාචාර්ය තුමා විසින් එතුලට හලන ලදී.

සිව් වන කොටස අවසානයි

Tuesday, 16 April 2013

අරාජිකවාදයේ රසායනය (තෙවන කොටස)



අරාජිකවාදයේ රසායනය (තෙවන කොටස)

නරඹන්නෝ, එකා පිට එකා වැටෙමින් දුවන්නට ඉගිළුනහ. ගිරිය යටින් කෑ ගසන තියුණු හඬක්ද වාතයේ පැතිර ගියේය. 

මේ මහ කළබලය දෙස මහාචාර්ය තුමා බලා සිටියේ, උඩඟු හසරැල්ලක් පාමිනි.

 කරුණාකර අසුන් ගන්නා ලෙස මම ආයාචනා කර සිටිනවා" ඔහු කීවේය. 

"එසේම මම පෙර විස්තර කළ පරිදි, අත්පොළසන් නොදෙන ලෙසත් මම ඉල්ලා සිටිනවා. ඩයිනමයිට් ගැන ඇති ජනප්‍රිය මිථ්‍යා විශ්වාසයකුයි, මේ දැන් ඔබ විසින් පෙන්වා දුන්නේ. ඔබගේ ක්‍රියාවින්ම ඔබ පෙන්වා දුන්නා ඔබට ගනුදෙනු කිරීමට සිදු වී ඇති මේ ද්‍රව්‍යය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට, මෙවැනි දේශනයක් කොතරම් වැදගත්ද කියා. මේ ඩයිනමයිට් කැටය සම්පූර්ණයෙන්ම හානි රහිතයි. මක්නිසාද, එය ඝණ ස්වරූපයේ පවතින නිසා. ඝණ ස්වභාවයේ පවතින ඩයිනමයිට් පුපුරා යන්නේ නැති බව - කැණීම් කරන අයවළුන් හා මේ සම්බන්ධව වැඩකරන උදවිය හොඳින්ම දන්න දෙයක්. තමන්ම පුපුරවා ගන්න යන අය, සාමාන්‍ය රීතියක් ලෙස, මෙම කැටය ගින්නක් අසල තබා, මෙලෙක් බවට පත් කර ගත යුතු ඒනිසයි. දැන් කාමරයේ තද උණුසුමෙන් ඔය කැටය දිය වෙන්නට පෙර කවුරු හරි කරුණාකර ඒක මට ගෙනත් දෙනවාද?”

එකෙක් හෙමින් ඉදිරියට පැමිණ, කැටය අවුලාගෙන, එය තම සිරුරෙන් හැකිතරම් ඈතින් තබාගෙන, පා ඇඟිලි මතින් මේසයට ලං වී, එය මහාචාර්ය තුමා ඉදිරියෙන් තැබීය.

"බොහොම ස්තුතියි" මහාචාර්යතුමා කාරුණික හඬකින් කීවේය. 

ඒ මිනිසා තම අසුනට යන අතර, දිග සැනසුම් සුසුමක් හෙලීය.

"ඒ ඝණ ඩයිනමයිට්" මහාචාර්ය තුමා දිගටම කතා කලේය. "මම කළින් සඳහන් කල පරිදි, එය ප්‍රායෝගිකව හානි රහිතයි. දැන් මා කැමතියි ඝණ නොවන ඩයිනමයිට් යොදාගෙන, ඉතා පුදුම සහගත පරීක්ෂණ දෙකක් පෙන්වන්න."

මෙසේ කියමින් ඔහු අර ලී කුඩු වැනි ද්‍රව්‍යයෙන් මිටක්, තමා ඉදිරියේ වූ කිණිහිරය මත හැළුවේය.
 
"ඔබ මේ පරීක්ෂණ දකින්නට ඉතාම සතුටු වෙයි, මොකද, ඩයිනමයිට් කොපමණ පහසුවෙන් හැසිරවිය හැකි දැයි මෙමඟින් පැහැදිළි වන නිසා. ගැස්සීම නිසා ඩයිනමයිට් පිපිරීමට ලක් වීම, නිතර සිදු වන අත්වැරැද්දක්. මෙතැන තිබෙන ඩයිනමයිට් ටික ප්‍රමාණවත්, මෙම ශාලාව සහ එතුල ඉන්නා පිරිස කුඩු පට්ටම් කරල නැත්තටම නැතිකරලා දමන්නට. එහෙම වුවත්, අපි බලමු ගැස්සීමකින් එය පිපිරෙයිද, නැත්ද කියා."

ඔහු කිණිහිරය මත තිබූ ද්‍රව්‍යය මතට, තද මිටි පහර දෙක තුනක් හෙලුවේය. ඉදිරිපස පෙල සිටියවුන් තම පසුපසින් සිටි සගයන් මතට තෙරපා හැරීමටත්, ඔවුනගේ රෝම කූප කෙළින් කිරීමටත් සමත් විය.

මහාචාර්ය තුමා, මිටි පහර දීම නවතා, යමක් වැරදී ගිය ආකාරයේ බැල්මක් හෙලීය. ඉන් අනතුරුව, කිණිහිරය මත තිබූ යමක් ඔහුගේ නෙතට හසු විය. ඔහු නැවී, යකඩය මත තිබූ එම ද්‍රව්‍යය හොඳින් පිරික්සන්නට විය.නැවත ඍජු ඉරියව්වට පැමිණි ඔහු, මෙසේ කියන්නට විය.

මම මෙහෙම කියන එක, බියගුළු කමක් විදියට යමෙක් දකින්න පුළුවන්, නමුත්, මම මගේ අතින් සිදු වූ වැරැද්ද දුටුවා. මා අතින් තව පොඩ්ඩෙන් මහා විනාශකාරී දෙයක් සිදු වෙන්න ඉඩ තිබුනා. මට පෙනුනා කිණිහිරය මත ඉතා කුඩා ග්‍රීස් බින්දුවක්: මගේ මිටි පාරක් ඒක මත වැදුනා නම්, මේ වන විට ඔබ සැවොම මේ ගොඩනැගිල්ලේ සුන් බුන් වලට යට වෙලා, මරුවිකලෙන් දඟලනවා. කොහොම උණත්, ඉගෙන ගත් පාඩම වටිනවා.අර ග්‍රීස් බින්දුව, ඩයිනමයිට් වලින් බේරිලා වැටුනු නයිට්‍රොග්ලිසෙරීන් බින්දුවක්.මම කිව්වත් වගේ, ඩයිනමයිට් කිණිහිරයක් මත තබා තැලීම අන්තරාය රහිතයි. නමුත්, මිටි පාර නයිට්‍රොග්ලිසෙරීන් බින්දුවක් මත වැදුනොත්, එක මොහොතින් සියල්ල පුපුරා යනවා. මගේ සුළු අතපසු වීම ගැන මම ඔබෙන් සමාව ඉල්ලා සිටිනවා.

මෙවිට, ශාලාව මැද කොටසින් එකෙක් නැඟී සිටියේය. ඔහු වෙව්ලමින් සිටි බැවින්, කට හඬ අවනත කර ගැනීමේ සුළු ප්‍රමාදයක් ඇති විය.ඔහුට කතා කළ හැකි වූයේ, කීප වරක් දිවෙන් කට වටා තෙත් කර ගත් පසුය.

තෙවන කොටස අවසානයි