Tuesday, 12 March 2013

අරාජිකවාදයේ රසායනය By Robert Barr (පළමු කොටස)





අරාජිකවාදයේ රසායනය

The Chemistry of Anarchy
By : Robert Barr

සෝහෝ හි, අරාජිකයන්ගේ සමිතිය විසුරුවා හරින ලද්දේ අරමුදල් නැතිකමින් යැයි ලන්ඩන් පුවත්පත් වල පළවූ නමුත් එය සත්‍යයෙන් ඉතා ඈතය. අරාජිකයන්ගේ සමිතියකට අරමුදල් වලින් පළක් නැත. බියර් මිලදී ගන්නට මුදල් ඇතිතාක් කල් සමිතිය පවතින බව සත්තය. සමිතිය ඉහිරී යන්නට සැබෑ හේතුව මට කිව්වේ එහි අන්තිම සභා වාරයේ මුලසුන දැරූ තරුණ පත්තර කාරයෙකි.

මේ තරුණයා අරාජිකවාදියෙකු නොවේ. නමුත් ඔහුට පත්තරේ බල කිරීම උඩ එසේ පෙනී සිටීමට සිදුවිය. සමිතිය ඉදිරියේ ඔහු පැවැත්වූ "ගින්දර වගේ" කතාවලට මහ හඬින් අත්පොලසන්ද ලැබිණි. අන්තිමේ අරාජිකවාදීන් ගැන ප්‍රවෘත්ති, පත්තර පුරා වැහි වහින්නට වූ විට, මාෂල් සිම්කින්ස් වැඩකළ පුවත්පතේ කතුවරයා, දැන් අරාජිකවාදීන් ගැන ලිවිල්ල නවතා පාර්ලිමේන්තු පුවත් වාර්තා කරන ලෙස ඔහුට දැන්වීය.


Wednesday, 6 March 2013

අමුතු කතාවක් : A Strange Story by O. Henry



අමුතු කතාවක්

ඕ. හෙන්රි
ඔස්ටින් හි උතුරු කොටසේ එක් කලෙක ස්මොද'ස් නම් ලත් පවුලක් වාසය කලේය.ජෝන් ස්මොද'ස්, ඔහුගේ බිරිඳ හා ඔහු, ඔව්නගේ පස් හැවිරිදි දියණිය, හා ඇයගේ දෙමව්පියන් එක්ව ගත් කල විශේෂ සඳහන් යටතේ, නගරයේ ජනගහනයට හය දෙනෙකු එක් කළ නමුත් ඇත්තෙන්ම එහි සිටියේ, තිදෙනකු පමණි.

එක් දිනක් රාත්‍රී ආහාරයෙන් පසුව, කුඩා දැරිය දැඩි උදරාබාධයෙකින් පෙලෙන්නට වූවාය.බෙහෙතක් ගෙනෙන්නට ජෝන් ස්මොද්'ස් හනික නගරයට දිව ගියේය.

ඔහු නැවත කෙදිනකවත් ආපසු පැමිණියේ නැත.


සුවපත් වූ දැරිය පසුව වැඩිවියට පත් වූවාය. තම සැමියාගේ අතුරුදන් වීම පිළිබඳ දැඩි ශෝකයට පත් බිරිඳ, මාස තුනක් ගත වීමට පෙර වෙනත් විවාහයක් කරගෙන, සැන් ඇන්ටෝනියෝ වෙත නික්ම ගියාය.
කලකට පසුව, එම දැරියද විවාහවී වසර කිහිපයකට පසු, ඇගේ දියණියද පස් හැවිරිදි වූවාය.
එතෙකුදු ඔව්න් ජීවත් වූයේ ඇගේ පියා නික්මී අතුරුදන් වූ පැරණි නිවසේමය.

එය ජෝන් ස්මොද'ස් අතුරුදන් වූ සංවත්සර දිනයක් විය. එදින ඉතා අහඹු ලෙස, ඇගේ කුඩා දැරියද උදරයේ වේදනාවකින් පෙලෙන්නට වූවාය.

ජෝන් ස්මොද්'ස් ජීවතුන් අතර සිටියා නම් ඔහු එම ළදැරියගේ සීයා වේ.

"මම ටවුමට ගොහින් බෙහෙත් ටිකක් අරන් එන්නම්" ජෝන් ස්මිත් (ඇගේ පියා) සූදානම් විය.

Monday, 4 March 2013

සලබ මිනිසා (The Moth Man)



සලබ මිනිසා
(The Moth Man)

සලබ  මිනිසා යනු, එක්සත් ජනපදයේ, උතුරු ව'ජිනියා ප්‍රාන්තයේ, චා'ල්ස්ටන් (Charleston) හා පොයින්ට් ප්ලෙසන්ට් (Point Pleasant) යන ප්‍රදේශ වලදී, දැකගැනීමට ලැබී ඇති කිසියම් හඳුනා නොගත් ජීවියෙකි.

1966 සිට 2007 වසර දක්වාම විටින් විට, විවිධ පුද්ගලයනට මෙම සත්වයා නිරීක්ෂණය වී ඇත. එනමුත් මෙවැනි සිද්ධියක් මුලින්ම මෙම ප්‍රදේශයෙන් වාර්තාවන්නේ 1926 දීය. කුඩා ළමයෙක් මේ අත්දැකීම ලබා ඇති අතර ඒ ආසන්නයේ සොහොන් පිටියක සිටි පිරිසක් විසින්ද පියාපත් සහිත මිනිස් රුවක් දුටු බව සඳහන් කර ඇත.

ඉන් අනතුරුව විශාල පිරිසක් විසින් විටින් විට හා එකිනෙකාගෙන් ස්වාධීනව මොහු දැක ඇති අතර, ඔව්නගේ නිරීක්ෂණ අනුව, විස්තර කොට ඇත්තේ, "රතු ඇස් සහිත විශාල කුරුල්ලෙකු" හෝ " අඩි දහයක පමණ පළල් පියාපත් ඇති මිනිසකු" ලෙසය.බොහෝ විට මොහු දක්නට ලැබී ඇත්තේ හිසක් හෝ ගෙලක් රහිත, පපුවේ ඇස් පිහිටි සතකු ලෙසය.

එලෙසම, මේ සිදුවීම් පිළිබඳ විවිධ අර්ථකථන ඉදිරිපත් වී ඇත. ඇතැම් වන සත්ව විද්‍යාඥයෙක් මොහු සෑන්ඩ්හිල් (Sandhill Crane) නම් විශාල ඇමරිකානු කොකුන් විශේෂය විය හැකියයිද, තවත් අයෙක් ඌ බාන් අව්ල් (Barn Owl) නම් බස්සන් විශේෂයට අයත් විය හැකි යයිද කියති.

Wednesday, 27 February 2013

මිනී වලේ සෙබළාගේ අබිරහස් පරීක්ෂණ : Major Christopher William Clayton Hutton



මිනී වලේ සෙබළාගේ අබිරහස් පරීක්ෂණ
Major Christopher William Clayton Hutton

දෙවන ලෝක යුධ සමයේ ලෝකය බෝම්බ හඬින් සෙලවෙද්දී උමතු පෙනුමක් සහිත එක්තරා පුද්ගලයෙක් මහා බ්‍රිතාන්‍යයේ පාළු කනත්තක සොහොන් ගෙයක් තුල අපූරු පර්යේෂණ මාලාවක නිරත විය.ඔහු මේජර් ක්‍රිස්ටොපර් ක්ලේටන් හට්න් විය. 

මේජර් හට්න්ගේ පර්යේෂණ ඉලක්ක වූයේ, සිර ගත වූ මිත්‍ර පාක්ෂික සෙබළුනට ජර්මන් උකුසු ඇසින් බේරී සිර කඳවුරු වලින් පැනීමටත්, එයින් පසු සතුරු දේශය මැදින් පණ රැකගෙන ආපසු මඟ සොයාගෙන පැමිණීමටත් අවශ්‍ය උපකරණ නිපදවීමටය.

මේජර් වරයෙකුට හිමි යුධ රාජකාරි අවසන ඔහු සොහොන් බිමේ හුදකලා බංකරයට වදී.මතුපිටින් තණ පිඩැල්ලෙන් ආවරණය වූ එය, අඩි 20, අඩි 12 ප්‍රමාණයේ අඩි 8 ගැඹුරු කුටියකි.මැදියම් රැය පසුවන තුරු ඔහු අනලස්ව නොයෙක් පර්යේෂණ සිදුකරයි.

ඔහු මුලින්ම කල්පනා කලේ සතුරා අතින් මිදී ආපසු මඟ සොයන සොල්දාදුවකුට ඇවැසි ඉතා නිවැරැදි හා මැනැවින් සකස් වූ සිතියමක් පිළියෙල කිරීමටය.මේ සඳහා ඔහු ප්‍රථම කොට ජර්මනියේ, ප්‍රංශයේ හා පෝලන්තයේ ඇතුළු රටවල් ගණනක හොඳම සිතියම් සාදන සමාගම් හමු වී තොරතුරු ලබාගති.ඊලඟට ඔහු අවධානය යොමු කලේ සිතියම මුද්‍රණය කිරීමට සුදුසු මාධ්‍යයක් තෝරා ගැනීමටය.

මෙම සිතියම තෙමුණු විට හානි නොවන, නමා දිග හළ පසු නැමුම් පහරවල් නොරැඳෙන, නමන විට ශබ්ද නොනැඟෙන, එසේම කුඩා අවකාශයක් තුල සඟවා සතුරාට සැක ඇති නොවන ලෙස සිරකරුවන් අතට පත් කළ හැකි විය යුතුය.

මොහු මල්බෙරි පල්පය යොදා ගෙන කඩදාසියක් නිපදවා එහි සිතියම් මුද්‍රණය අත් හදා බැලීය. එම කඩදාසිය ළූනු සිවියක් තරම් ගණකම අඩු වූත් අතිශයින්ම කල් පවතිනා වූත් කඩදාසියකි.මෙය බැළූ බැල්මට පාන් එතීමට ගන්නා නිකම්ම නිකම් කරදාසියකි. නමුත් හිරු එළියට අල්ලා බලන විට කදිම සිතියමකි.යුධ සමයේ මේ ආකාරයේ සිතියම් 400,000 පමණ නිපදවන ලදී.

එතෙකින් නොනැවතුණු මේජර් හට්න් ලේන්සුවක් ලෙස පෙනෙන පරිදි සිල්ක් රෙදි කැබැළි වල සිතියම් මුද්‍රණය කළ හැකි අයුරු අධ්‍යයනය කළේය. ඔහු මේ සඳහා මුලින්ම පාවිච්චි කලේ පැරෂුට් රෙද්දකි. එහි තීන්ත බොඳ විය.මෙම අවාසිය මඟහැරීමට, ජෑම් කල් තබා ගැනීමට උපයෝගී කර ගන්නා රසායන ද්‍රව්‍යයක්  භාවිතා කරමින් ඔහු සිදු කළ පර්යේෂණයන්හි ඵලය ලෙස, අඟල් 20 x 20 රෙදි කැබැල්ලක ස්ථාන 70,000 පෙන්වන වර්ණ හතක ඉතා පැහැදිළි සිතියමක් නිපදවීමට ඔහු සමත් වීය.

සටනක් මැද හසු වන යුධ සිරකරුවෝ රඳවා තැබෙන රැඳවුම් කඳවුරු වලට නොයෙකුත් සුභසාධක සංවිධාන හා සිරකරුවන්ගේ පවුල් වලින් යැවෙන පාර්සල් සමඟ මෙකී "ලේන්සු" ද ඔව්න් අතට පත් කෙරිණි.

ජාත්‍යන්තර සම්මුතීනට අනුව, සිරකරුවෝ (Prisoners of War, POW)ක්‍රීඩා භාණ්ඩ වැනි ත්‍යාග ලබාගැනීමට හිමිකරුවෝ වූහ.මෙයින් ප්‍රයෝජන ගත් මේජර් හට්න්, මොනොපොලි පෙත් (Monopoly Boards), ස්නේක් ඇන්ඩ් ලැඩර් (Snake and Ladder) හා මේස පන්දු වැනි ක්‍රීඩා උපකරණ තුල සඟවා තමා නිපදවූ පලා යෑමේ උපකරණ, සිර කඳවුරු තුලට යැවීමට පියවර ගත්තේය. ඇතැම් උපකරණයක් චෙස් ඉත්තන් තුල සඟවා, රහස් උපදෙස් සහිතව, සිරකරුවන් අතට පත් කරන ලදී. සිරකරුවනට මේජර් හට්න් යැවූ එක් කාඩ් කුට්ටමක ජෝකර් කොළයේ ඇති සටහනට අනුව කොළ පෙළ ගැස්වූ විට සතුරු අඩවියේ සිතියමක් මැවෙයි.